වයිස් අද්මිරාල් රවින්ද්‍ර (රවි) විජේගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1980 වසරේ නොවැම්බර් 01 වන දින 09 වන බදවාගැනීමට අයත් කැඩෙට් නිළධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත. එතැන් සිට ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨයෙන් තම මුලික පුහුණුව ආරම්භ කළ ඔහු ලෝකයේ ප්‍රමුඛතම නාවික පුහුණු කිරිම් ආයතනය වන එංගලන්තයේ ඩාක්මවුත් හි පිහිටි බ්‍රිටැනියා රාජකීය නාවික හමුදා ඇකඩමිය වෙත ඇතුලත් වීමට වරම් හිමි කර ගනී. අනතුරුව එම ඇකඩමිය මගින් 1982 දි පිරිනමන ලද දක‍්ෂතම ජාත්‍යන්තර මධ්‍ය නිළධාරියා වෙත පිරිනමන ලද සම්මානය දිනා ගැනිමට ඔහු සමත් විය. දියයට සංග්‍රාමික කටයුතු පිළිබද විශේෂ පුහුණුවක් ලබා ඇති ඔහු පුහුණුව ලත් කිමිදුම්කරුවෙකු, පැරසුට් කරුවෙකු සහ විශේෂ බලකා සමාජිකයකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත..

ඔහු අවසන් වරට සාගරික රාජකාරින්හි නිරත වුයේ ශ්‍රි ලංකා නාවික හමුදාව සතු ධජ නෞකාව වන ශ්‍රිලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙනි. නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, FOCNF, ඉන්දියාවේ පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් සහ ආරක්ෂක උපදේශක, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, විශේෂ බලකා, නාවික නිරික්‍ෂණ, දකුණු, බටහිර, උතුරු සහ නැගෙනහිර නාවික ආඥාපති, අධ්‍යක්‍ෂ ජනරාල් ශ්‍රි ලංකා වෙරලාරක්‍ෂක බලකාය සහ මාණ්ඩලික නිලධාරි ඔහු විසින් හොබවන ලද අනෙකුත් ප්‍රධාන තනතුරු ලෙස දැක්විය හැකිය.

නාවික හමුදාවේ විශේෂ බලකාය ලෙස සැලකෙන විශේෂ යාත්‍රා බලඝනයේ නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන්නේද වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නයන්වේ. යුධ ගැටුම් පැවති සමයේ නාවික හමුදාවට ජයග්‍රහන රැසක් අත්කර දිමට මෙම විශේෂ යාත්‍රා බලඝනය සමත්විය.එමෙන්ම 1993 දී දියත්කළ සුපතල පුනරින් මෙහෙයුම ඇතුළු තවත් නාවික මෙහෙයුම් රාශියක් සදහා සිය අණ ලබාදීමේ ගෞරවයද ඔහු සතුවේ.

ක්‍රියාන්විතයේදී දැක්වූ වීරත්වය සහ නිර්භීතභාවය හේතුවෙන් පිරිනමනු ලබන වීර පදක්කම් හතරකින් පුදලැබීමට හැකිවූ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියෙකු වශයෙන් වයිස් අද්මිරාල් විජේගුණරත්නයන් හැදින්වීමට හැකිය.ඔහු විසින් දිනාගෙන ඇති පදක්කම් අතර වීරෝධාර විභූෂණය, රණ වික්‍රම පදක්කම (දෙවරක්), රණශූර පදක්කම විශේෂ වේ. මීට අමතරව ඔහු විසින් ප්‍රදර්ෂණය කල ප්‍රශංසනීය සහ ආදර්ශමත් නාවික සේවය අගයනු වස් විශිෂ්ඨ සේවා විභූෂණය සහ උත්තම සේවා පදක්කම යන පදක්කමිද පිරිනමා ඇත.

එසේම ඔහු 1996 වසරේදී යුධ විද්‍යාව පිළිබද විද්‍යාවේදී (ගෞරව) උපාධිය පකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් අත්කරගෙන ඇති අතර 2010 වසරේදී ඉන්දියාවේ මදුරමති විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂණ සහ මුලෝපාගික අධ්‍යයන සම්බන්ධයෙන් දර්ශණපති (පළමු පෙල) උපාධියක් හිමි කර ගෙන ඇත.

තවද ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂා විශ්ව විද්‍යාලයේ ආදි සංගමයේ සාමාජිකයෙකුද වන අතර අසමමිතික යුධ කටයුතු සහ කුඩා යාත්‍රා මෙහෙයුම් සම්බන්ධ විශේෂඥයකු ලෙසද සැලකේ.

අති දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට හෙතෙම පාපන්දු , රුවල් ඔරු සහ ඔරු පැදීම වෙනුවෙන් නාවික හමුදා වර්ණ දිනා ගැනීමටද සමත්ව ඇත.නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති දක්‍ෂ වෙඩික්කරුවකු වන ඔහු ජාතික වායු රයිෆල් සංගමයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත.වර්ථමානයේ ඔහු නාවික හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති වශයෙන්ද කටයුතු කරයි.

1989 වසරේදී ශ්‍රී ලංකා රෑ රැජින ලෙස කිරැළු පැලදි යමුනා සේරම් මැතිණිය එතුමාගේ දයාබර බිරිද වන අතර ඔවුන්ගේ එකම පුතු සත්‍යජිත් විජේගුණවර්ධන වන අතර දැනට විසි තුන් වන වියේ පසුවන්නේය.