#
 

වයිස් අද්මිරාල් තිසර සුගීශ්වර ගුණසේකර සමරසිංහ, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඩීඅයිඑස්එස්

 

1974 වර්ෂයේදී ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකා නාවික හමුදාවට බැදුණු වයිස් අද්මිරාල් ටිඑස්ජී සමරසිංහ ත්‍රීකුණාමලය නාවික සහ සාගරික විද්‍යාපීඨයෙහි 4 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට කණ්ඩායමේ සෑම අතින්ම විශි‍ෂ්ඨ දක්ෂතා පෙන්නුම් කල ශිෂ්‍යභට නිළධාරියාට හිමි “සම්මානනීය අසිපත” දිනා ගන්නා ලදී. ඔහු එක්සත් රාජධානියෙහි ඩාර්ටිමත් හි බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාපීඨයේ 1976 වර්ෂයේ හොඳම ජාත්‍යන්තර මධ්‍ය නිළධාරියාට හිමි ත්‍යාගයද දිනාගත් අතර, මේ දක්වා එම විද්‍යාපීඨයේ ගෞරවාන්විත අංශභාර උප ලුතිනන් ධුරයෙන් පිදුම් ලැබූ ප්‍රථම සහ එකම නිළධාරියා වීමේ භාග්‍යයද ඔහු හිමි කර ගෙන ඇත. වයිස් අද්මිරාල් සමරසිංහ ඉන්දියානු නාවික හමුදාවේ නාවික නෞකා වෙන්දුර්ති හි ජල තරණ සහ මාළිමා පාසැලේ පුහුණුව ලබමින් ජල තරණ සහ මාළිමා විශේෂඥයෙකු ලෙස කුසලතා මත ප්‍රථම ස්ථානයද හිමි කරගෙන ඇත.

ගොඩබිම සහ දියත් විධානයන්හි ප්‍රධාන තනතුරු රාශියක් දරමින් කෙටි දුර මුර යාත්‍රා, දිගු දුර මුර යාත්‍රා, වේග ප්‍රහාරක යාත්‍රා (1985 වර්ෂයේදී 
ශ්‍රි ලංකා නාවික හමුදා යාත්‍රා මුළුවට එක්වූ ඊශ්‍රා‍යලයෙහි නිෂ්පාදිත ප්‍රථම ඩෝරා යාත්‍රා දෙකින් එක් යාත්‍රාවක), වේග ප්‍රහාරක යුද යාත්‍රා සහ එවකට ධජ නෞකාව වූ නිරීක්ෂණ විධානයේ කුඩා යාත්‍රා වලට අණදුන් නිරීක්ෂණ මෙහෙයුම් නෞකාවේද අණභාරව කටයුතු කළේය. ඔහුගේ අවුරුදු 07 ක් වන මුහුදු විධාන සේවා කාලයෙන් අවුරුදු 4 ½ කාලයක් මුහුදේම රාජකාරීන් කර ඇත. තවද ඔහු නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිළයන්ට අයත් ප්‍රධාන තනතුරු වන නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂ තනතුරු වලට අමතරව උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශයන්හි පිහිටි නාවික පුහුණු ආයතන වල ආඥාපති සහ පුහුණු විධායක වශයෙන්ද සේවය කර ඇත.

ක්‍රියාන්විත සේවය සක්‍රීයව පැවති කාලයේදී උතුරු නැගෙනහිර විධානයන්හි නියෝජ්‍ය ආඥාපති ලෙස කටයුතු කල අතර, 2002 වර්ෂයේදි ඔහු දකුණු නාවික ප්‍රදේශයේ ආඥාපති වශයෙන්ද පත්‍ කෙරිනි. ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යටතේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරි වශයෙන්ද, නාවික සහකාර වශයෙන්ද කටයුතු කරමින් ඔහු 2004 වර්ෂයේදී අධ්‍යක්ෂ ජෙනරාල් නාවික ව්‍යාපෘති සහ සැලසුම් තනතුර සඳහාද පත්වීම් ලැබීමට වාසනාවන්ත විය. එපමණක් නොව 1995 - 2006 වර්ෂයන්හි ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ද්විපාර්ශීය කටයුතු සඳහා ඉන්දියාව, රුසියාව, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ආදි රටවලට යාවුන නාවික නියෝජිත කණ්ඩායමට තේරි පත්ව එයට නායකත්වය දීමට අවස්ථාව ලැබුණි.

1991 වර්ෂ‍යෙහිදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පාර්ට් රාඩ් අයිලන්ඩ් හි නාවික යුධ විද්‍යාලයේ නාවික මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨ උපාධිධර‍යෙකු බවට පත්වු වයිස් අද්මිරාල් ටිඑස්ජී සමරසිංහ 2005 වර්ෂයෙහිදී පාඨමාලා අංක 45ට අනුයුක්තව නවදිල්ලියේ ප්‍රමුඛතම ජාතික ආරක්ෂක විද්‍යාලයේ ත්‍යාගලාභී විශිෂ්ඨ උපාධිධරයකු බවටද පත්විය.

ත්‍යාග රැසකින් පිදුම් ලබමින් දිල්ලි ජාතික ආරක්ෂක විද්‍යාලයේදී ඔහු විසින් රචිත “සාගරික ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා යුධ උපක්‍රමය” නැමති නිබන්ධනය ද, ඉන්දු
ශ්‍රි ලංකා“තිරසාර සහයෝගිතා ආරක්ෂක අභියෝග සහ විකල්පයන්” නැමති ඉන්දියාවේ ජාතික සාගරික පදනමේදී රචිත දේශන නිබන්ධ ලිපිය ද මුදිත ප්‍රකාශ ලෙස එම ආයතන මගින් පල කර ඇත. ‍

කොමදෝරු වරයෙකු වශයෙන් ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි හි ආසියානු පැසිපික් ආරක්ෂක අධය්‍යන මධ්‍යස්ථානයෙහි 2003 වර්ෂයේදී පැවැති විධායක ආරක්ෂක අධය්‍යන පාඨමාලාව සඳහා සහභාගි වූ අතර, එහිදී රටවල් 91 කින් එයට සහභාගි වූ නියෝජිතයින් සමග උපාධි ලත් උපාධිධරයෙක් බවටද පත්විය.

තවද 1977 - 2006 වර්ෂයන්හි සිට
ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වරුන්ගේ ප්‍රසංශාත්මක ලිපි 05 ක් ලබාගැනිමට ද මොහු සමත් වී ඇත.

2009 වර්ෂයේදී ලිබියාවට සහ 2006 වර්ෂයේදී ඉන්දුනීසියාවට ගිය ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමට ඔහු ද සාමාජිකයකු ලෙස තෝරාගැණුනි.

උතුරු සහ නැගෙනහිර මුදවාගැනීම සඳහා වු මානුෂීය මෙහෙයුම් ආරම්භ වීමත් සමග, ඔහු 2005 වර්ෂයේ දෙසැම්බර් මාසයේ උතුරු නාවික පෙදෙසෙහි වැඩ බලන ආඥාපති, 2006 වර්ෂයේ දී නාවික හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, 2007 වර්ෂයේදී නැගෙනහිර නාවික පෙදෙසෙහි ආඥාපති සහ 2008 වර්ෂයේදී උතුරු නාවික පෙ‍දෙස භාර ආඥාපති ලෙස ද පත්වීම් ලද්දේය.

එල්ටීටීඊ සංවිධානයේ පාවෙන අවිගබඩා විනාශ කළ වකවානුවේ දී ඔහු අධ්‍යක්ෂ ‍ජෙනරාල් මෙහෙයුම් සහ නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති ලෙස 2006 - 2008 වර්ෂයන්හි සේවය කරන ලද අතර, 2009 මැයි මාසයේ දී ඔහු මාණ්ඩලික ප්‍රධාන තනතුරට උසස් කරන ලදි. තවද මොහු මුහුදේදී දැක්වූ නිර්භීතභාවය සඳහා රණශුර පදක්කමින්ද, නොකැලැල් වෘත්තීය සේවය සහ දේශය සුරැකීම සඳහා දැක්වූ හිතෛෂීභාවය සහ කැපවීම අගයනුවස් පිරිනමන විශිෂ්ඨ සේවා විභූෂණ සම්මානයෙන් සහ අතිවිශිෂ්ඨ නොකැලැල් සේවය අගයනුවස් පිරිනැමෙන උත්තමසේවා පදක්කමෙන්ද පිදුම් ලැබීම‍ට භාග්‍යවන්ත විය.

ක්‍රීඩා කටයුතු

• 1978 - 1988 දක්වා
ශ්‍රි ලංකා නාවික හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම
• 1998 වර්ෂයේ
ශ්‍රිලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමේ සභාපති වීම
• 1986 - 1989 දක්වා සහ 2004 වර්ෂයේදී
ශ්‍රි ලංකා නාවික හමුදා රගර් ක්‍රීඩා සංචිතයේ සභාපති වීම
• 1984 වර්ෂයේදී
ශ්‍රි ලංකා නාවික හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ සභාපති වීම
• 1997 වර්ෂයේදී
ශ්‍රි ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ කණ්ඩායමේ සභාපති තනතුරට පත්වීම
• 2004 වර්ෂයේ
ශ්‍රි ලංකා රගර් පාපන්දු සංගමයේ සාමාජිකයෙකු බවට පත්වීම

ජාතික පැවරුම්

• 1998 වර්ෂයේ පැවති
ශ්‍රි ලංකාවේ 50 වන නිදහස් සැමරුම් උලෙළට සහභාගි වූ බ්‍රිතාන්‍යයේ ප්‍රින්ස් ඔප් වේල්ස් මහ කුමරුන්ගේ අධි සහායක ලෙස කටයුතු කිරීම
ශ්‍රි ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ සාගර ප්‍රඥප්තියේ 76 වන වගන්තියේ II වන උප වගන්තිය පරිදි මහාද්වීපයන්හි සීමාවන් නිර්ණය කිරීම සඳහා 1999 වර්ෂයේදී පත් කරන ලද සීමා නිර්නයන ජාතික ඉහල පෙලේ කාර්ය්‍ය සාධක හමුදා ව්‍යාපෘතියේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් මේ දක්වා කටයුතු කිරීම
• 2006 වර්ෂයේ
ශ්‍රි ලංකාවේ පැවති 10 වන දකුණු ආසියාතික සහයෝගීතා රටවල් වල ක්‍රීඩා උළෙලේදී ජාතික රයිපල් සංගමයේ සභාපති වශයෙන් කටයුතු කිරීම

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන (1960 - 1974) ඔහු පහත සඳහන් කුසලතාවයන්ට ද හිමිකම් ලැබීය.

• ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක (1973 - 1974)
ශ්‍රි ලංකා ශිෂ්‍යභට බළකායේ 3 වන බලඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් (1973)
• විද්‍යාලීය පළමු පෙල ක්‍රිකට් කණ්ඩායම් සාමාජික (1972-1974)
• “A” ක්‍රිකට් කණ්ඩායමේ නායක (1973)
• මලල ක්‍රීඩා වර්ණලාභී (1972)
• ජ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා කණ්ඩායමෙහි උපනායක (1973)

ඔහු
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නියුක්ත වූ හක්මන පුහුල් වැල්ලේ පදිංචි ප්‍රැන්සිස් ගුණසේකර සමරසිංහ මහතාගේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ අචාර්යවරියකව සේවය කළ මාලිම්බඩ, පලාටුව පදිංචි උමාවති සමරසිංහ මහත්මියගේ දෙවන පුතණුවන් වේ. ඔහුගේ බිරිඳ මාලතී වන අතර, ඔහුට නදීශා නම් (18) දියණියක් ද හරිත් නම් (13) පුතණුවෙක් ද සිටියි.